ශ්‍රී ලංකාවේ චිත්‍රපට
ඉතිහාසය
ලක් පොළොවේ සිනමා ඇරඹුම
![]() |
| colonel The Right Honorable Sir Joseph West Ridgeway 18th Governor of British Ceylon |
ශ්‍රී ලංකාව ‘සිලෝන්‘ ලෙස හැදින්වූ යුගයේ 1901 වසර අප
රටේ සිනමාවේ ආරම්භක වසර ලෙස හැදින්වේ. අප රට තුළ මුල් වරට සිනමා පටයක් ප්‍රදර්ශනය
කෙරුනේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර තැන්පත් වෙස්ට් රිජ්වේ මහතා විසින් පැවැත්වූ
පුද්ගලික තිරගත කිරීමක් ලෙසය. බෝයර් යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදා ලත් ජයග්‍රහණය මෙන්ම
වික්ටෝරියා රැජිනගේ අවසන් කටයුතු මෙන්ම 7 වන එඩ්වර්ඩ් රජුගේ රාජාභිෂේකය ද ඇතුලත්
වූ කෙටි චිත්‍රපටයක් වන එහි නරඹන්නන් වූයේ ආණ්ඩුකාර තුමා සහ බෝයර් යුද්ධයේදී යුධ
සිරකරුවන් බවට පත්ව සිටි බෝයර් වරු පිරිසකි. පසුව ශ්‍රී ලංකාවේ එවකට පදිංචිව සිටි
බ්‍රිතාන්‍ය ජාතිකයන් හා ඉංග්‍රීසි පන්නයට ජීවත්වූ සිංහලයන් වෙනුවෙන් ඉංග්‍රීසි
චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කර ඇත.
ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවට සිනමා පටයක් දකින්නට
ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතික වර්වික් මේජර් මහතා ගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය. ඒවා
“ බයස්කෝප් “ ලෙස හැදින්වින. මෙම බයස්කෝප් ප්‍රදර්ශනය කෙරුනේ එළිමහනේ හා තාවකාලිකව
ඉදිකළ කූඩාරම් තුළය. මුල්ම ස්ථිර සිනමා ශාලාව ඉන්දියාවේ “ මදන් තියටර්ස් “ ආයතනය විසින් පිහිටුවා ඇත.
එහි ප්‍රදර්ශනය කෙරුනේ ඉන්දීය චිත්‍රපට වන අතර, ඒවා ඉතා සාර්ථකව තිරගතවී ඇත.
1920 - 1930 අතර කාලයේ දී විවිධ ඉංග්‍රීසි චිත්‍රපට ශ්‍රී
ලංකාවේ ප්‍රදර්ශනය වී ඇති අතර, ඒ වන විට ඇමරිකානු සුපිරි නළු නිළියන් වන චාලි
චැප්ලින්, ග්‍රේටා ගාර්බෝ, ජෝන් බැරිමෝර්, රැඩොල්ෆ් වැලැන්ටිනෝ ආදීන් ශ්‍රී ලංකාවේ
සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියව සිට ඇත. මේ අතුරෙන් “ තීෆ් ඔෆ් බැග්ඩෑඩ්“ චිත්‍රපටය වඩාත් ජනප්‍රිය
වී ඇත. මේ සියළුම චිත්‍රපට “ නිහඞ “ චිත්‍රපට වේ. වසර 1932 දී පළමු කතානාද චිත්‍රපටය
ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කර ඇත. රීගල් සිනමා හලේ තිරගත වූ එය “ ද ඩ්‍රීම් “ නම්
විය. 1930 වසර වන විට ඉංග්‍රීසි චිත්‍රපට අභිබවා ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාවේ
සිනමා රසිකයන් අතර වඩාත් ජයප්‍රිය වී ඇත. ආදායම් වාර්තා බිද හෙලූ ප්‍රථම චිත්‍රපටය
වීඇත්තේ ඒ යුගයේ ප්‍රදර්ශනය කළ “ බිල්වා මංගල් “ නම් චිත්‍රපටය යි.
සිනමා ඉතිහාසය ආරම්භයේ දී ම ඉන්දියානු මදන් චිත්‍රපට
සමාගම විසින් කොළඹ “ එල්ෆින්ස්ටන් “ සිනමා
ශාලාව ඉදි කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පවත්වාගෙන ආ සිනමා ශාලාව වන්නේ
1915 දී ඉදිකරනු ලැබූ “ එම්පයර්“ සිනමා ශාලාවයි. එය 2003 දී වෙනත් වාණිජ
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා කඩා ඉවත් කරන ලදී.
සිංහල සිනමාවේ ආරම්භය හා
දකුණු ඉන්දීය බලපෑම්
ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවට ආරම්භයේ පටන්ම දකුණු
ඉන්දියානු සෙවනැල්ල වැටී තිබෙනු දැක ගත හැකි විය.
එය චිත්‍රපට අධ්‍යක්ෂණය , නිෂ්පාදනය මෙන්ම සංගීත අධ්‍යක්ෂණය යන ප්‍රධාන
කරුණු තුනෙහිදීම ආධිපත්‍යයක් ලෙස දැකිය හැකිය. ඉන්දියාව ප්‍රථම වරට චිත්‍රපටයක්
නිපදවන්නේ 1913 දීය . එය දාදාසහේබ් පාල්කේ අධ්‍යක්ෂණය කරන ලද “රාජා හරිශ්චන්ද්‍ර“ නම් චිත්‍රපටයයි. එය නිහඞ චිත්‍රපටයකි. ප්‍රථම ඉන්දීය කතානාද චිත්‍රපටය 1931
දී අදේශීර් ඉරාජිගේ අධ්‍යක්ෂණයෙන් නිපදවෙන්නේ, “ආලම් ආරා “ නමිනි. ප්‍රථම දකුණු ඉන්දීය දෙමළ කතා නාද චිත්‍රපටය වන්නේ, 1931 දී එච්. එම්. රෙඩ්ඩි අධ්‍යක්ෂණය කරන කාලිර්ස් ය.
ශ්‍රී ලංකාවේ ද පළමුව නිර්මාණය වන්නේ නිහඞ චිත්‍රපටයි. 1925 වර්ෂයේ දී නූර්බායි නැමැත්තෙකුගේ නිෂ්පාදනයක් වන “ රාජකීය වික්‍රමය“ අධ්‍යක්ෂණය කර ඇත්තේ ගුප්ත නැමැති භාරත සිනමා ශිල්පියෙකු විසිනි. ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියෙකු හා ප්‍රකට දේශපාලඥයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එහි ප්‍රධාන චරිතය රගපා ඇත. සිබිල් නැමැති බර්ගර් ජාතික කාන්තාවක ප්‍රධාන නිළිය ලෙස රගපා ඇත. එය රූ ගත කර ඇත්තේ තාවකාලිකව පවත්වාගෙන ගිය චිත්‍රාගාරයක වන අතර, එහි ඇතැම් දර්ශන නාවල දියවන්නා ඔය අසල එළිමහන් දර්ශන ලෙස රූගත කර ඇති බවත් ඉතිහාසයේ සදහන් වේ. දේශීය සිනමාවේ ආරම්භක යුගයේ පැවැති විවිධ ගැටුම් හා කුමන්ත්‍රණ වල ප්‍රතිපලයක් ලෙස මෙහි පිටපත් විනාශ වී ඇත. නමුත් ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත. මුල් වරට, සිංහල චිත්‍රපටයක් ලක්දිව සිනමා හලක තිරගතවන්නේ ද නිහඞ චිත්‍රපටයක් ලෙසය. 1932 දී ප්‍රදර්ශනය වන එය නම් කර තිබුනේ “පලිගැනීම“ ලෙසයි.
සිනමා ඉතිහාසය විමසීමේ දී රාජකීය වික්‍රමයේ සිට කඩවුණු
පොරොන්දුව දක්වා කාලය තුළ නිර්මාණය වන්නට වැඩ කටයුතු ආරම්භ කර තිබූ එහෙත් වැඩ
අවසන් කරන්න නොහැකි වූ චිත්‍රපට ලෙස පලිගැනීම, අශෝකමාලා, බණ්ඩා නගරයට පැමිණීම, මන ප්රයත්නය (සිංහල දෙබස් කැවූ), රොඩී කෙල්ල ආදිය සදහන් කළ හැකිය. එමෙන්ම එසේ ඇරඹි කුස ජාතකය, ශ්‍රී වික්‍රම, රජවාසල කුමන්ත්‍රණය, ආදී චිත්‍රපට කිහිපයක් දෙවැනි ලෝක සංග්‍රාමය හේතුවෙන් නිෂ්පාදනය
නොවී අතරමග නවතා ඇත.
![]() |
| Pandith Amaradewa (W D Albert Perera) playing a role ' Thapasaya ' while singing the song " Ei kale yameku aale' in Asokamala film |
![]() |
| Kadawunu Poronduwa |
වේදිකා නාට්‍ය ඇසුරින් සම්පාදනය වූ සිනමා තිර පිටපත්
මෙන්ම දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරුන් ගේ ප්‍රබල බලපෑම හමුවේ ලාංකීය සිනමාපට ඉන්දීය
චිත්රාගාර තුළ පෝෂණයවීම දිගින් දිගටම සිදුවිය. ජෝතිශ් සිංහ හෙවත් ඡේ. සිංහ වැරදුනු
කුරුමානම, පෙරළෙන ඉරණම, දස්කම, ගැහැනු ගැට චිත්‍රපටත්,
ටී. ආර්. ගෝපු අශෝකමාලා සම අධ්‍යක්ෂණයත්,
කේ. සුබ්‍රමනියම් කපටි ආරක්ෂකයා,
එන්. වී. ජවේරි සහ ඩී. එස්. බාබු ගෙන් දිව්‍ය ප්‍රේමයත්, රාජා වහාබ් කශ්මීර් ගෙන් බංඩා නගරයට පැමිණීමත්,
ඒ. බී. රාඡ් ප්‍රේම තරගය, අහංකාර ස්ත්‍රී, පෙරකදෝරු බෑනා, රම්‍යලතා, ගංතෙර හා වනමෝහිනී සම අධ්‍යක්ෂණයෙනුත්,
ටී. ආර්. සුන්දරම් සුජාතා, වරද කාගෙද, රදළ පිළිරුව මෙන්ම වනමෝහිනී ,
ඒ. ඇස්. නාගරාජන් ගෙන් පුදුම ලේලි, මාතලන්, පුරුෂරත්නය මෙන්ම
කේ. ශංකර්ගෙන් දොස්තර සිනමාපටයත්,
ඒ. එස්. ඒ. සාමිගෙන් ඩිංගිරි මැණිකාත්
මිත්‍රදාස්, දුප්පතාගේ දුකත්,
ක්රිෂ්ණ රාඕ සූරයාත්,
එම්. මස්තාන් සුකුමලී, අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, ධීවරයෝ, අල්ලපු ගෙදර, සූර චෞරයා, අටවැනි පුදුමය, ආත්ම පූජා,
එස්. එම්. එස්. නායිදු ගෙන් සූරසේනත්
වී. යෝගානන්ද සුන්දර බිරිඳත්,
සේතු මාධවන් වීර විජයත්,
එස්. කේ.ඕජා දෛවයෝගයත්
අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා කර්මාන්තයට දකුණු
ඉන්දීයයන් ලෙස එක් වෙති.
මේ අනුව දකුණු ඉන්දීය අධ්යක්ෂවරුන්, සංගීත අධ්යක්ෂ වරුන් දේශීය සිනමාවට නැතුව බැරි තත්වයක් ඇති කරද්දී , අපටම අනන්‍ය වූ සිනමාවක් පිළිබඳව ඇතැම් ලාංකීය නිර්මාණකරුවන් . එහි ප්‍රතිඵලයක් වශයෙන් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ කතාවක් ඇසුරින් නිපදවෙන දෙවන සිනමා පටය වන -කපටි ආරක්ෂකයා ශ්‍රී ලංකාවේ දර්ශන රැගත් ප්‍රථම කතා නාද චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වෙයි.
පෙරලෙන ඉරණම, උමතු විශ්වාසය, ආදී චිත්‍රපට රසිකයන්ගේ අවධානයට යොමු වුවද මෙකල සෑම
සිනමාපටයක්ම දකුණු ඉන්දීය චිත්රාගාරවල ඔවුන් ගේ කාර්මික ශිල්පීන් මෙන්ම ද්‍රවිඩ
සංස්කෘතියේ බලපෑම යටතේය. ද්රවිඨ භාෂාව උච්චාරණය වන්නේ ඉහල ස්වර වල නිසා එහි
නිපදවූ සිංහල චිත්‍රපටවල දෙබස් උච්චාරණය ද ස්වරයෙන් වෙනස් විය. සිංහල වදනක ඇති ලයාන්විතව, හැඟීම්බර බව අනුව දෙබස කීමට ඉන්දීය ශබ්ද පරිපාලකයින්
යටතේ සාර්ථකව ඉඩක් නොලැබුනි.එයට හේතුව එම වචන වල ඇති සංස්කෘතිමට හැගීම් හා ගති
ලක්ෂණ අපටම උරුම සංස්කෘතිකමය කාරණයක් වන බැවිනි. එය ඉන්දීය ශබ්ද පරිපාලකයනට දැනුනේ නැත.
එහෙත් දකුණු ඉන්දීය ලක්ෂණයන් ගෙන් මිදී අපේම සිනමාවක්
බිහි කර ගැනීමේ උත්සාහය අපේ සිනමා කරුවන් අත්හලේ නැත. බී. ඒ. ඩබ්. ජයමාන්න, සිරිසේන විමලවීර, නායගම්, සහ සිනමාස් සමාගම විසින් නිපදවු චිත්‍රපට රාශියක් එම උත්සාහය මැද නිපදවා
ඇති බව පෙනේ. රේඛාව සිනමා පටය දක්වාම එය විහිදී යයි. 1947 කඩවුනු පොරොන්දුවේ සිට 1955 දක්වා නිර්මාණය වූ චිත්‍රපට අතුරෙන් , හොඳම චිත්‍රපටය
හැටියට එකල චිත්‍රපට විචාරකයන් සඳහන් කළේ පොඩිපුතා චිත්‍රපටයයි. එය කොතරම් ජනතාවගේ හදවතට සමීප වීද යත්, ඇතැම් පුද්ගලයන්
තමන්ගේ ව්‍යාපාර වලට මෙන්ම ඇතැම් අය තම වාහන වලට පවා “ පොඩි පුතා “ යැයි නම්
කිරීමට පෙළඹුනි.
![]() |
| Rekawa 1956 |
සිංහල සිනමාවට දේශියත්වයේ ආලෝකය නිසි ලෙස ලැබෙන්නේ 1956 අග භාගයේ දී නිර්මාණය වූ රේඛාව චිත්‍රපටයෙනි. විශාල
වියදම් දරා දකුණු ඉන්දියානු චිත්රාගාරවලට ගොස් එහි පසුතල මැද සිංහල චිත්‍රපට
නිර්මාණය කිරීම මෙන්ම, මෙහි තනා ගත් දැවැන්ත චිත්රාගාර තුළ ඉදිවූ පසුතල මැද දේශීය
චිත්‍රපට රූගත කිරීමත් තව දුරටත් අනවශ්‍ය බව සිනමා ඉතිහාසයේ සටහන් කරමින් , චිත්රාගාරයෙන්
එළිමහනට කැමරාව රැගෙන යාම නිසා රේඛාව අපේ සිනමාවට අමරණීය මෙහෙයක් ඉටු කළේය. අපේ
රටේ ඇති සුන්දර මනස්කාන්ත දර්ශන එනම් ගංගා, ඇල දොළ, කුඹුරු යායවල්, ගමේ පාරවල්,
අපේම මිනිස්සු, ගෙවල් දොරවල් රේඛාව තුළින් දුටු අපේ සිනමා ප්‍රේක්ෂකයෝ
අමන්දානන්දයට පත්වූහ. එමෙන්ම ඩී. ආර්. නානායක්කාර, අයිරාංගනී සේරසිංහ ආදී නළු නිළියන්ගේ දස්කම් මෙන්ම
සුනිල් ශාන්තයන්ගේ කන්කළු සංගීතයත් රේඛාව අපේම බව පෙන්වා දුනි.
Sri Nimal Padmakumara
srinimal2@gmail.com



